නාසයේ ඇදය නිසා හුස්ම ගැනීම අපහසු විය හැකියි 

 

සේප්ටෝප්ලාස්ටි (Septoplasty) යනු කුමක්ද ?

 
 
සේප්ටෝප්ලාස්ටි (Septoplasty) යනු  නාසයේ මැද  බිත්තියේ ඇති ඇදයක් නිවැරදි කරන සැත්කමකි. නාසයේ මැද  බිත්තිය අස්ථි හා කාටිලේජ වලින්  සමන්විත වේ.
ඇතැම් අවස්ථා වලදී නාසයේ මැද ඇති බිත්තිය (Septum) පැත්තකට බරව පිහිටා ඇත. එමගින් නාසයේ එක් පැත්තක් කුඩාවට පිහිටන අතර එය නිවැරිදි කල හැක්කේ සැත්කමක් මගින් පමණි. එවිට හුස්ම ගැනීම පහසු කරයි.
 
 
septum-correction
septum-correction

සේප්ටෝප්ලාස්ටි (Septoplasty) සදහා සුදානම් කරන්නේ කෙසේද ?

 
ඔබ ඇස්ප්‍රින් (asprin), බ්රුෆන් (brufen) හෝ රුධිරය කැටිගැසීම වලක්වන බෙහෙත් (Clopidogrel, Warfarin) ඖෂධ දැනට අරගන්නේ නම් ඒවා නැවැත්විය යුතුයි. ඔබේ විශේෂඥය වෛද්‍යවරයා අවශ්‍ය නම් පමණක් නාසයේ X-ray පරීක්ෂණයක් කරයි. සාමාන්‍ය සිහිනැති කිරීමක් සිදුකර ඉතා ආරක්ෂාකාරීව සැත්කම සිදු කරයි. ඒ නිසා සැත්කමට පැය 6 කට ප්‍රථම කෑම බීම ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. එමගින් සැත්කමෙන් පසු වමනය කිරීමෙන් වැලකී ජීවිතයට  අනතුරුදායක තත්වයන් ඇති නොවේ.
 
 

සේප්ටෝප්ලාස්ටි (Septoplasty) කරන්නේ කෙසේද ?

 
මේ සදහා විනාඩි 60-90 පමණ ගතවේ. කුඩා කැපුමක් නාසය ඇතුලතින් සිදුකර මෙම සැත්කම සිදුකරන බැවින් කිසිදු කැළලක් ඇති නොවේ. නාසය ඇතුලත පිටතට නොපෙනෙන කැපුමක් සිදුකර ඇද වුන කාටිලේජ යථා තත්ත්වයට පත්කරයි.  ප්‍රථමයෙන්ම මතු පිට සම ඈත්කර  කාටිලේජ (cartilage) බිත්තිය නිවැරදි තැනට ගෙන එයි. වැඩිපුර ඇති කර්ටිලේජ් හෝ අස්ථි කොටස් සියුම්ව ඉවත් කරයි. අවසානයේ දී මතුපිට ඇති ශේෂ්මල සම නැවත යථා තත්වයට පත් කරයි.  කලාතුරකින් මැහුම් යෙදීමට අවශ්‍යවේ. එමෙන්ම දියවන මැහුම් යොදන නිසා මැහුම් කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ. නාසය ඇතුලතට දමන ඇසුරුම (packing) මගින් පමණක් මෙය නිසි ස්ථානයේ තැබිය හැකිය. පළමු පැය 24 තුල නාසයට ඇසුරුමක් යොදා වසා තබන්නේ රුධිරය වහනය අඩු කිරීමටයි. එම නිසා පළමු දිනයේදී කටින් හුස්ම ගැනීමට සිදුවේ. 
 
septum-correction
septum-correction

සේප්ටෝප්ලාස්ටි (Septoplasty) සදහා සුදානම් කරන්නේ කෙසේද ?

1. ලේ වහනය 
2. ආසාදනය 
 
මේවා වලක්වා ගැනීමට පුළුවන් ගැටළු වන අතර සියලුම සැත්කම් වලට පොදු ගැටළුයි. සැත්කමින් පසුවත් නාසය පිරිසිදුව සෝදා වියලිව තබා ගැනීම මෙන්ම දෙඅත් පිරිසිදුව තබා ගැනීමත් වැදගත්. අනිත් වැදගත් කරුණ වන්නේ පළපුරුදු විශේෂඥය වෛද්‍යවරයෙකු (ENT Surgeon) විසින් සැත්කම සිදුකරන විට මෙම සංකූලතා අඩුවීමයි.
 
 

සුවය ලැබීමට කොපමණ කල් ගතවේද ?

 
සැත්කම සිදුකල දිනට පසු දින රෝගියාට ගෙදර යා හැක. සති කිහිපයක් යනතුරු වෙහෙස වීමෙන් ශරීරය වෙහෙසා වැඩ කිරීමෙන් වැළකීමෙන් ඉක්මන් සුවය සහ තුවාල වේලීම ඉක්මන් කරයි. ඔබේ වෛද්‍යවරයා ලබා දෙන වේදනා නාශක මුල් දින කිහිපය තුල නිසියාකාරව අරගන්න. ඉන් පසු අවශ්‍යනම් පමණක් වේදනා නාශක අරගන්න.
 
ඉක්මන් සුවයට පහත උපදෙස් පිළිපදින්න 
1. හිස් පහත් කිරීමෙන් වලකින්න. ඒ සදහා හිස පෙදෙස උස්ව සිටින සේ නිදා ගන්න.
2. නාසය සූරන්න එපා.
3. හිස පෙදෙසෙන් ගලවන ටී-ෂට් (T – shirt) ඇඳීමෙන් වලකින්න. ඉදිරිපසින් බොත්තම් හෝ zසිප් ( Zip) එකකක් ඇති කමීසයක් වඩාත් උචිතයි.
නාසයේ ඇති තුවාල ඉතා ඉක්මනින් සුව වුවත්  සම්පුර්ණ සුවවීම සෙමෙන් සිදුවෙයි. කාටිලේජ (cartilage) සහ අනිකුත් පටක යථා තත්වයට පත් වීමට වසරක් පමණ ගතවෙයි. ඔබට හුස්ම ගැනීමට පහසුවක් ඉක්මනින්ම ලැබෙන අතර එය කාලයත් සමග  වඩාත් පහසු වෙයි.