කන් බෙරය පැලූනෝත් මොකද කරන්නේ

කන් බෙරය පැලීම ඇති වන්නේ කෙසේද ?
මෙහිදී සිදුවන්නේ කන්බෙරේ සිදුරක් ඇති වීමයි. මෙය කනේ ආසාදනයක් හෝ කනට සිදුවන අනතුරක් නිසා ඇති විය හැක. විශාල ශබ්දයක් ඇති වීමේදී ඇතිවන කම්පන තරංගයකටත් කන් බෙරයක් පැලී යාමට පුළුවන. විශේෂයෙන්ම බෝම්බයක් පිපිරීම වැනි සිදුවීමක දී ඒ අසල සිටින අය ජීවිතය ගලවා ගත්තත් කන් බෙරය පැලී යාමට යාමට පුළුවන. කෙසේ වෙතත් නිතර කනෙන් සැරව ගැලීමට පුළුවන. කනේ ආසාදනයක් ඇති නම් කන තුලට වතුර යැවීමෙන් වැළකිය යුතුයි. විශාල සිදුරක් ඇතිනම් කන ඇසීම පවා අඩුවිය හැකියි. බොහෝ විට මෙය ඉබේම හොද වෙයි.
කන් බෙරයේ ඇති සිදුර උගුර කන නාසය පිලිබඳ විශේෂඥ්‍ය වෛද්‍යවරයෙකු ලවා පරික්ෂ කර ගැනීම වැදගත්ය. කනෙන් ශ්‍රාවයක් යන විට හෝ ඇසීම අඩු නම් කන් බෙරය සැත්කමක් මගින් යථා තත්වයට පත් කර ගත හැක. මෙම සැත්කම මිරින්ගෝප්ලාස්ටි (myringoplasty) නමින් හදුන්වයි.

මිරින්ගෝප්ලාස්ටි (Myringoplasty) යනු කුමක්ද ?
මිරින්ගෝප්ලාස්ටි යනු කන් බෙරය අලුත් වැඩියා කරන සැත්කමයි.
මෙය සිදු කිරීමෙන් ඇති වන යහපත් ප්‍රථිපල.
1. ස්නානය කරනවිට වතුර මැද කනට යෑම වලක්වයි. එසේ ගියහොත් කනේ ආසාදනය වැඩිවෙයි.
2. කනේ ඇසීම යථා තත්ත්වයට පත් වේ.
3. මැද කනේ සැත්කමක් මගින් විනාශ වී ඇති අස්ථි යථා තත්ත්වයට පත් කල හැක.
4. සාමාන්‍යයෙන් මෙම සැත්කම 90% කට වඩා සාර්ථක වන අතර සිදුරේ ප්‍රමාණය විශාල වැඩිනම් සුවවීම අඩුය.
5. කන් ඇසීම අඩු වන අතර මැද කනට විෂබීජ ගියහොත් ආසාදනය වීමෙන් මොලේ දක්වා ම පැතිර යාමට හැකිය. එහිදී මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයක් මෙන්ම මොළයේ සැරව ගෙඩි (Brain abscess) ඇතිවිය හැකියි.
6. ඇතැම් විට කන ඇතුළත ස්නායුවලට හානිවීම නිසා කරකැවිල්ල ඇති ඇතිවිය හැකියි.

සැත්කමේ අතුරු අභාධ මොනවාද ?
දිවට රස දනවන ස්නායු ගමන් කරන්නේ කන් බෙරයට ආසන්නවයි. මෙම ස්නායුව ඇතැම් විට කැපී යාමට පුළුවන. මෙය දිවේ එක් පැත්තකට පමණක් සිදුවෙන අතර බොහෝ විට තාවකාලික වෙනසකි. කෙසේ වෙතත් දක්ෂ සහ අත්දැකීම් බහුල ශල්‍ය වෛද්‍යවරයෙකුට මෙවැනි අවස්ථා සිදුවීම විරලයි.
ඔළුව කරකැවිල්ල සැත්කමින් පසු පැය කිහිපයකට පැවතිය හැකි අතර ඒ සදහා ඖෂධ ලබාදෙයි. කලාතුරකින් කරකැවිල්ල දිගු වෙලාවක් උවද පැවතිය හැකි අතර එවිට විශේෂිත ඖෂධ ලබාදෙයි. ඇතැම් විට කනේ විවිධ ශබ්ද ඇති උවත් එය තාවකාලිකයි.
මුහුණේ පේශි වලට යන ස්නායු ගමන් කරන්නේ කන අසලිනි. එනිසා එම ස්නායුවට හානි වුවහොත් මුහුණේ ඇදයක් ඇති විය හැකි අතර මෙවැනි සංකුලතා පළපුරුදු සහ අත්දැකීම් බහුල ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සිදු කලවිට අවමයි.

වෙන විකල්පයක් තිබේද ?
සැත්කමට විකල්පයක් නැති අතර කනේ ආසාදනයක් නොමැති විට ඇතැම් වෛද්‍යවරු ශ්‍රවණ උපකරණ නිර්දේශ කර පැළදීමෙන් ඇසීම යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන. එහෙත් නවීනතම තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සැත්කම සාර්ථකව සිදු කලහැක.

සැත්කම සිදු කරන්නේ කෙසේද ?
නිර්විදනය කර සැත්කම සිදු කිරීම ආරක්ෂා සහිත වන අතර එවිට දැනීමක් හෝ වේදනාවක් නොමැත. ඔබට වැඩිදුර විස්තර අවශ්‍යනම් ඔබේ ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසන්න.
කන පිටුපසින් යොදන කැපුමකින් හෝ කන තුලින් ඇතුළුවී සැත්කම සිදු කරයි. අන්වීක්ෂයක් ආධාරයෙන් ඉතා සියුම්ව සිදුකරන මෙම සැත්කමට අවශ්‍ය කන් බෙරය සාදාගන්නේ කන් පෙත්තේ ඇති පටක කොටසක් මගිනි. කිසිදු කැපුමක් සිදු නොකර කනේ සිදුර තුලින් සැත්කම කිරීම දැනට සාර්ථකව සිදුකරයි.
ඉන්පසු කන් සිදුර පුළුන් මගින් වසා තබයි. එවිට බද්ධ කල කොටස ගැලවී නොගොස් සවිවේ. හිස වටා යොදන ලද වෙළුම්පටි දිනක් පමණ තබා ගත යුතුයි.

සැත්කමින් පසු තත්ත්වය කෙසේද ?
වේදනා නාශක සහ කරකැවිල්ල නැති කරන ඖශධ ලබා දෙන අතර විවේකව ගත කිරීම වැදගත්ය. බොහෝ විට නින්ද යෑමට බෙහෙත් ලබාදෙයි.
පැය 4 ක් පමණ යන විට සුවය ලැබේ. කිහිප වරක් කුඩා අහාර වේල් හෝ පානයක් ගැනීම ප්‍රයෝගික ක්‍රමයකි. කෙසේ වෙතත් වමනය දිගට තිබේ නම් ඔබේ වෛද්‍යවරයා විශේෂිත ඖෂධ ලබාදෙයි.
තුවාල සුව වීම සහ පිරිසිදුකම
කන සහ සැත්කම් පෙදෙස පිරිසිදුව සහ වියලිව තබා ගැනීම වැදගත්. කන ඇතුලතට කිසිවක් නොකරන්න. කන තුල දැමූ ගෝස් (gauze) එලියට වැටුනහොත් එය තවදුරටත් එලියට අදින්න එපා. එලියට ආ කොටස කතුරක් ගෙන කපා දමා ඉතිරි කොටස එලෙසම තබන්න. කන පිටත ඇති ගෝස් (gauze) පෙගී ඇත්නම් අලුත් එකක් තබන්න. පළමු පැය 48 තුල මෙලෙස නිතර ගොස් මාරු කිරීමට සිදුවෙයි. කන ඇතුලට බෙහෙත් දැමීමෙන් පසුවත් අළුත් ගෝස් පැක් (Gauze pack) එකක් තබන්න.


කනට බෙහෙත් දමන අයුරු.
1. පළමුව බෙහෙත් දමන පුද්ගලයා අත් දෙක පිරිසිදුව සෝදාගන්න.
2. කනට පිටතින් ඇති ගෝස් පැක් එක ඉවත් කරන්න.
3. බෙහෙත් බින්දු 2 ක් දමන්න.
4. නැවත අලුත් පැක් එකක් කනට දමන්න.
5. පරණ එක ඉවත් නොකර පුළුන් ගුලිය නොදමන්න.
6. මෙසේ සති 2-3 බෙහෙත් යෙදිය යුතුයි.
7. බෙහෙත් නොදැම්මොත් පැක් එක ගල් (වියලි ) වී ඉවත් කිරීම අපහසු වේ.
මෙහිදී ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා ඔබට ලබාදෙන උපදෙස් අනුව ම කටයුතු කිරීම වැදගත්.



පසු විපරම
උරාගන්නා මැහුම් යොදන බැවින් නැවත ඉවත්කිරීමක් අවශ්‍ය නොවේ. කනට පිටුපසින් පිටත ඇති තුවාලය සතියකට පසු සුවවන අතර එය සබන් යොදා සේදුවත් කන ඇතුලට වතුර නොයෑමට වගබලා ගත යුතුයි.
කනට දමන බෙහෙත් ඔබේ ශල්‍ය වෛද්‍යවරයා නිර්දේශ කරනතුරු දිගටම පාවිච්චි කරන්න. කනේ වේදනාව මුලදී තිබුනත් පසුව එය නැතිවී යයි. වේදනානාශක ළඟ තබා ගැනීම වැදගත්. සති 2-3 කින් වෛද්‍යවරයා හමුවන්න. එවිට කන ඇතුලත ඇති ගොස් පැක් එක ඉවත් කරයි. කන වියලිව තබාගැනීම (වතුර නොයා) වැදගත්. ඇතුලත තුවාල සුව වී ඇති බවට වෛද්‍යවරයා පරීකෂා කර පවසන තෙක්ම කන වියලිව තබා ගතයුතුයි.
සාමාන්‍ය තත්ත්වයට පත්වීමට කොපමණ කල් ගතවේද ?
සැත්කමින් පසු දින 7-10 ක් යනතුරු ගෙදරට වී විවේක ගන්න.
වෛද්‍යවරයා කන පරික්ෂා කර සුවවීයයි පවසනතුරු
1. වෙහෙස වී වැඩකිරීමෙන් වලකින්න.
2. නාසය පිඹීම හෝ තදින් කිඹිහුම් යැවීම නොකලයුතුයි.
3. පිහිනීම නොකල යුතුයි.